• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාස තිහක (30) කාලයක් තුළ, පුළුල් පරිමාණ කොන්ක්‍රීට් සිල්පර 100,000 ක් නිෂ්පාදනය කර සැපයීම සඳහා නව කොන්‍ත්‍රාත්තුවක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (SEC) වෙත ලබා දීම සඳහා වන යෝජනාව
- ශ්‍රී ලංකාව තුළ දුම්රිය සේවයේ ආරම්භයේ සිට, දුම්රිය මාර්ග සඳහා ප්‍රධාන වශයෙන් ලී සිල්පර භාවිත කර ඇති නමුත් උග්‍ර දැව හිඟය හේතුවෙන් විශේෂයෙන්ම දුම්රිය මාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය සිල්පර සඳහා වන අධික ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය දැව සංස්ථාවට නොහැකි වී ඇත. එබැවින්, වර්තමාන දුම්රිය මාර්ග පවත්වාගෙන යාමේදී පවතින ලී සිල්පර හිඟය මඟහරවා ගැනීම සඳහාත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ ව්‍යාපෘතීන් සඳහා ඇති සිල්පර අවශ්‍යතාව සපුරාගැනීම සඳහාත් එම දෙපාර්තමේන්තුවට කොන්ක්‍රීට් සිල්පර වැඩි වශයෙන් ලබාගැනීමට සිදු වී ඇත. ඒ අනුව, ඉදිරි මාස 30ක කාලය සඳහා, කළමනාකරණ ගාස්තු ඇතුළත්ව එක් සිල්පරයක් සඳහා රුපියල් 6,876.00ක් බැගින් වන මුදලකට, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.