• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ගමට ගෙයක් - රටට හෙටක්' - සෑම පවුලකටම සුවපහසු නිවසක්
- 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම සුවපහසු නිවසක ජීවත් වීමට ඉඩ සලසා දීම තුළින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණ සාක්ෂාත් කරනු පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය විසින් 'ගමට ගෙයක් - රටට හෙටක්' නිවාස වැඩසටහන කඩිනම් මෙන් ම තිරසර සංවර්ධන වැඩසටහනක් වශයෙන් 2020 වර්ෂයේදී ආරම්භ කිරීමට යෝජනා කර ඇත.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් හා ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන හා ප්‍රජාවගෙන් සැදුම් ලත් ප්‍රජා කමිටු හරහා 2020 ජනවාරි මාසයේ සිට දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව, මෙම වැඩසටහනේ මුල් අදියර ලෙස, සෑම ග්‍රාම නිලධාරි වසමකම ප්‍රමුඛතාව මත තෝරා ගත් එක් දිළිඳු පවුලකට නිවසක් ඉදි කිරීමට හෝ වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ හයක (06) ආධාරයක්, ඉදිකිරීම් ප්‍රගතිය මත පදනම් ව වාරික ලෙස ලබා දෙමින් නිවාස 14,022 ක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.