• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත 'ගොවිජන මන්දිරය' ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීම
- කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබූ බත්තරමුල්ල රජමල්වත්ත පටුමගෙහි පිහිටි ‘ගොවිජන මන්දිරය’ නම් වූ රජයට අයත් ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ස්ථාපිත කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබුණි. එහෙත් එම ගොඩනැඟිල්ල මේ දක්වා අපේක්ෂිත අරමුණු සඳහා පූර්ණ වශයෙන් භාවිතා කර නොමැත. එමෙන්ම, කෘෂිකර්ම අමාත්‍යාංශය කුළී පදනම මත වෙනත් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට සිදුවීම හේතුවෙන් ගොඩනැඟිලි කුළී වශයෙන් මාසිකව රුපියල් මිලියන 21කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇත. එසේ වුවද එම ගොඩනැඟිල්ලේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එහි සේවය කරනු ලබන නිලධාරින්ට මෙන්ම සේවාලාභීන්ට ද විවිධ අපහසුතාවන්ට ලක්වීමට සිදුව තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින අනෙකුත් ආයතන නැවත ‘ගොවිජන මන්දිරයෙහි’ ස්ථාපනය කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.