• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික ආයතනය යටතේ තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර/ඩිප්ලෝමා ඉගෙනුම් අවස්ථා 1000ක් හඳුන්වා දීම
- වර්තමානයේ දේශීය හා ජාත්‍යන්තරව ඉහළ ඉල්ලුමක් පවතින මෘදුකාංග නිෂ්පාදනය, අන්තර්ජාලය පදනම් කරගත් රැකියා වැනි රැකියා අවස්ථා සඳහා වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ‍රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින්, තාක්ෂණික විෂය ධාරාවන්, අනෙකුත් විෂය ධාරාවන් හදාරන ලද හෝ උසස් පෙළ සමත් වන සිසුන්ට සහතික පත්‍ර/ඩිප්ලෝමා/උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා පුහුණු අවස්ථා සලසා දීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන 2020 වර්ෂයේදී පුහුණු අවස්ථා 1,000කින් ආරම්භ කර 2022 වන විට පුහුණු අවස්ථා 3,000ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ඒ අනුව, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ දියගම තාක්ෂණික ආයතනය මුල් කරගෙන එකී පාඨමාලා පැවැත්වීමටත්, පාඨමාලා සැලසුම් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක දායකත්වය ලබා ගැනීමටත් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.