• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවාලීම
- රජයේ සහ රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින බවත්, සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව දේශපාලන හා වෙනත් අනුග්‍රහයන් මත එවැනි රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් බඳවාගනු ලබන බවත් අතිගරු ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් 100,000කට රැකියා අවස්ථා සැලසීමට හැකි වන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්, රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එකී බලකාය සඳහා වන බඳවාගැනීම් විනිවිඳභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 දින වන විට එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැලසුම් කර ඇති අතර පිරිවැය අයකරගැනී‍ෙම් පදනමින් එකී බලකායේ සේවාවන් රජයට, රජයේ අනුබද්ධ ආයතනවලට සහ පෞද්ගලික අංශයට ලබාගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.