• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018/2019 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මිල දී ගත් වී තොග සහල් කර ලංකා සතොස වෙළඳ ජාලය හරහා වෙළඳපොළට නිකුත් කිරීම
- 2018/2019 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මිලට ගන්නා ලද වී තොගවලින් කොටසක් පසුගිය කාලයේදී පුද්ගලික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හරහා සහල් බවට පත් කර වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත. කෙසේ වුව ද, මෙම දිනවල වෙළඳ පොළේ සහල් මිල වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඉහත පරිදි මිල දී ගත් තොගවලින් ඉතිරිව දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල පවතින වී මෙට්‍රික් ටොන් 42,000 ක් පමණ සහල් කර එම සහල් ලංකා සතොස ආයතනයේ වෙළඳසැල් ජාලය හරහා ලබා දීම මඟින් පාරිභෝගිකයාට සහන සැලසීමට ගෙන ඇති පියවර පිළිබඳව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

එසේම, ඉදිරි මාස 2 - 3ක කාලය තුළ හිඟයකින් තොරව වෙළඳපොළට සහල් සැපයීමටත්, සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 98/-ක් වශයෙන් පවත්වාගෙන යාමටත් ප්‍රධාන සහල් මෝල් හිමියන් ලබා දී ඇති එකඟතාව සැලකිල්ලට ගෙන, සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98/-ක් ලෙස නියම කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

තවද, උත්සව සමයේදී විශේෂයෙන් වතු ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවශ්‍ය තිරිඟු පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අඩු මිල ගණන් යටතේ ලබා ගැනීමට හැකි වන පරිදි, මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.