• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මරණ සහතිකලාභීන් ('දක්නට නොමැති බවට වූ සහතිකය' හඳුන්වා දීමට පෙර අතුරුදහන් වූවන් සඳහා නිකුත් කරන ලද මරණ සහතික) අතුරු සහන දීමනාව සඳහා අදාළ කරගැනීම පිණිස අනුමතිය ලබා ගැනීම
- අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තා සැලකිල්ලට ගෙන අතුරුදහන් වූ තැනැත්තන් සඳහා නිකුත් කර ඇති මරණ සහතික අවලංගු කොට ‘දක්නට නොමැති බවට වූ සහතික’ නිකුත් කිරීමටත්, එම පුද්ගලයින්ගේ පවුල්වලට මාසික ව රු. 6000/- බැගින් වු අතුරු සහන දීමනාවක් ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කර ඇත. කෙසේ වුවද, එලෙස මරණ සහතික අවලංගු කොට නිකුත් කරන ‘දක්නට නොමැති බවට වූ සහතිකයක’ වලංගු කාල සීමාව වසර 02 ක් පමණක් වන බැවින් මරණ සහතික ලබාගෙන ඇති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ පරිපාලනමය, නෛතික හා සාමාජීය-ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව තිබේ. එබැවින්, 1995 අංක 2 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ නිකුත් කරන ලද මරණ සහතිකයක මරණයට හේතුව ‘අතුරුදහන් වීම’ හෝ ‘නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බැව් ඥාතීන් විසින් පවසා ඇති බැවින් මරණයට පත් වී ඇතැයි සලකනු ලබන්නේය’ යන අදහස ඉදිරිපත් කෙරෙන පාඨයක් ඇතුළත් කර ඇත්තේ නම් හෝ 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2 වගන්තිය යටතේ අදාළ මරණ සහතිකය නිකුත් කර ඇත්තේ නම්, ‘දක්නට නොමැති බවට වූ සහතික’ අනුව ලබා දෙන රු. 6000/- ක මාසික අතුරු සහන දීමනාව එකී පුද්ගලයන්ගේ පවුල් වෙත ද ලබා දීම සඳහා මුදල් අමාත්‍යතුමා සහ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.