• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනික අවි සම්මුතිය සහ රසායනික ආරක්ෂාව, සුරක්ෂිත කළමනාකරණය පිළිබඳව වූ රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයේ ආසියානු සාමාජික රාජ්‍යයන්හි කලාපීය සමුළුව
- මූලික වශයෙන් නිරායුධකරණ ගිවිසුමක් වන රසායනික අවි නිෂ්පාදනය, වැඩිදියුණු කිරීම, රැස් කිරීම හා භාවිතය තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය, වක්‍රාකාර ලෙස රසායනික ආපදා සහ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවම කිරීම පිණිස සක්‍රීය දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකාව 1993 වර්ෂයේදී එකී සම්මුතියට අත්සන් තබා ඇත. ඒ අනුව, ආසියානු සාමාජික රාජ්‍යයන්හි නියෝජිතයන් 15 දෙනෙකුගේ සහ දේශීය නියෝජිතයින් 25 දෙනෙකුගේ සහභාගිත්වය සහිත ව, රසායනික අවි සම්මුතිය සහ රසායනික ආරක්ෂාව, සුරක්ෂිත කළමනාකරණය පිළිබඳව වූ ආසියානු සාමාජික රාජ්‍යයන්හි කලාපීය සමුළුවක්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය විසින් රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානය හා එක්ව 2019 දෙසැම්බර් මස 03, 04 සහ 05 දිනයන්හි දී, කොළඹදී පැවැත්වීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.