• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම
- 2019 අප්‍රේල් මස 21 දින ආගමික අන්තවාදීන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවෙන් පසුව ජාතික ආරක්ෂාව මැනවින් තහවුරු කිරීමේ අභියෝගයට මුහුණ දීම පිණිස, ඒ සඳහා දැනට පවතින ආයතනික මෙහෙයුම් ව්‍යුහය තවදුරටත් විධිමත් පරිදි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, 1999 වර්ෂයේදී මහජන ආරක්ෂක ආඥාපනත යටතේ පනවන ලද විධානයකට අනුව පිහිටුවනු ලැබූ ජාතික ආරක්ෂක මණ්ඩලය සහ අලුතින් පත් කිරීමට යෝජනා කර ඇති ජාතික ආරක්ෂක උපදේශක කමිටුව, ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම් කාර්යාලය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටු (ආර්ථික, ජාත්‍යන්තර කටයුතු, සාමාජීය හා ආගමික, පර්යේෂණ හා විශ්ලේෂණ, විද්‍යාත්මක හා තාක්ෂණික හා ක්‍රමෝපායික කළමනාකරණ) පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.