• Increase font size
  • Default font size
  • Decrease font size
අමාත්‍ය මණ්ඩලය යනු


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය




ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර


අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය

01. ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය [43.(1) ව්‍යවස්ථාව]

02. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.[43.(1) ව්‍යවස්ථාව]

03. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.[43.(2) ව්‍යවස්ථාව]

04. ජනාධිපතිවරයාගේ මත අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.[43.(3) ව්‍යවස්ථාව]

අමාත්‍යවරයන් සහ ඔවුන්ගේ විෂය සහ කාර්ය

01. අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.[44.(1)(අ) ව්‍යවස්ථාව]

02. ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය. [44.(1)(ආ) ව්‍යවස්ථාව]

03. ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබීය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.[44.(3) ව්‍යවස්ථාව]

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්

01. ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.[45.(1)(අ) ව්‍යවස්ථාව]

02. අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින්, එසේ පත් කරනු ලබන අමාත්‍යවරයන්ට පැවරිය යුතු විෂය සහ කාර්ය ද ඔවුන්ට යම් අමාත්‍යාංශ භර කරන්නේ නම් ඒ අමාත්‍යාංශ ද නිශ්චය කරනු ලැබි හැක්කේ ය.[45.(1)(ආ) ව්‍යවස්ථාව]

03. ජනාධිපතිවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව යටතේ කරන යම් භාර කිරීමක් කවර වූ හෝ විටක වෙනස් කරනු ලැබිය හැක්කේ ය.[45.(2) ව්‍යවස්ථාව]

04. (1) වන අනු ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන සෑම අමාත්‍යවරයෙක්ම අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින්නේ ය.[45.(3) ව්‍යවස්ථාව]

05. අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ අමාත්‍යවරයකු විසින් ඔහු වෙත පැවරී ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම් බලතල කිසිවක් හෝ කාර්යයක් හෝ යම් කිසි ලිඛිත නීතියකින් ඔහුට පැවරී ඇත්තා වූ හෝ නියම වී ඇත්තා වූ යම් බලතල කිසිවක් හෝ කාර්යයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාට එකී බලතල කිසිවක් හෝ කාර්යයක් පවරන්නා වූ හෝ නියම කරන්නා වූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ අනු ව්‍යවස්ථාව යටතේ එකී වෙනත් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම් බලතල කිසිවක් හෝ කාර්යයක් ඔහු විසින් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යානුකූල වන්නේ ය.[45.(4) ව්‍යවස්ථාව]

නියෝජ්‍ය අමාත්‍යවරයන්

01. ජනාධිපතිවරයා විසින්, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ට ඔවුන්ගේ කාර්ය ඉටු කිරීමෙහි ලා සහාය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.[46.(1) ව්‍යවස්ථාව]

02. අමාත්‍ය මණ්ඩලයේ කවර හෝ අමාත්‍යවරයකු විසින් , ඔහු වෙත පවරා ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම් බලයක් හෝ කාර්යයක් හෝ යම් කිසි ලිඛිත නීතියකින් ඔහු වෙත පැවරී ඇත්තා වූ හෝ නියම කරනු ලැබ ඇත්තා වූ බලතල කිසිවක් හෝ කාර්යයක්, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මඟින් තම නියෝජ්‍ය අමාත්‍යවරයාට පවරා දිය හැකි අතර එහි අමාත්‍යවරයාට එකී බලය හෝ කාර්යය පවරන්නා වූ හෝ නියම කරන්නා වූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන් වි තිබුණ ද එකී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්, එසේ පවරා දෙනු ලැබු යම් බලයක් හෝ කාර්යයක් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යනුකූල වන්නේ ය.[46.(2) ව්‍යවස්ථාව]