• Increase font size
  • Default font size
  • Decrease font size
Cabinet Office - Sri Lanka


මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩල තීරණවලට අදාළ තොරතුරු ලබාදීම


අමාත්‍ය මණ්ඩල තීරණ හා සබැඳි තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබන පුරවැසියන්ට ලබා දීමේ අරමුණින් එම තොරතුරු අදාළ විෂය භාර රේඛීය අමාත්‍යාංශය වෙතින් සෘජුවම නිකුත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලය පැවරීම පිණිස 2019-02-26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව 2019‑03‑07 දින සිට ක්‍රියාත්මක වන පරිදි එක් එක් අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව එළඹ ඇති අමාත්‍ය මණ්ඩල තීරණ හා ඊට සම්බන්ධ වන ලේඛන ය‍ථෝක්ත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අදාළ සංදේශය ඉදිරිපත් කරන ලද රේඛීය අමාත්‍යාංශ වෙතින් ඍජුවම ඉල්ලීම් කිරීම මඟින් ලබා ගත හැකි වේ.

යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින්, අමාත්‍ය මණ්‍ඩල රැස්වීම්වල "වෙනත් කරුණු" යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන් උක්ත පනත යටතේ ලැබෙන ඉල්ලීම්වලට අදාළ තොරතුරු පමණක්, එම පනතේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් තවදුරටත් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් යම් පැහැදිළි කිරීමක් අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 011-2325279 මඟින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරි විමසීම මඟින් හෝ ලිඛිත විමසීමක් කිරීම මඟින් ලබා ගත හැකිය.


අප ගැන

අමාත්‍ය මණ්ඩල‍යට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ලේකම්වරයෙකු වන්නේය. ජනාධිපතිවරයාගේ විධානයන්ට යටත්ව අමාත්‍ය මණ්ඩලයේ කාර්යාලය භාරව කටයුතු කිරීමත් ජනාධිපතිවරයා විසින් හෝ අමාත්‍ය මණ්ඩලය විසින් හෝ ඔහුට පවරනු ලබන්නා වූ වෙනත් යම් කර්තව්‍ය හෝ කාර්ය ඉටුකිරීමත්, කිරීමත් ලේකම්වරයා විසින් කරනු ලැබිය යුත්තේ ය.
[50 ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]

දැක්ම
විධායකයට සහාය වන වඩාත් විශ්වසනීය රාජ්‍ය ආයතනය වීම.


මෙහෙවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1) අනුව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති ජනරජයේ පාලනය මෙහෙයවීම පිණිස තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය සියලුම සහායයන් කාර්යක්ෂම ලෙස ලබාදීම.


අරමුණු
අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ගැනීමේදීත් සහ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා විසින් නිර්දේශ ඉදිරිපත් කිරීමේදීත් එම කාර්යයන්ට අනලස්ව සහාය වීම.


ක්‍රියාකාරකම්
අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීමට අදාළ උපදෙස් අමාත්‍යාංශ වෙත ලබාදීම හා එම කාර්යයේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට මඟපෙන්වීම.
ප්‍රතිපත්ති සම්පාදනය හා ජනරජයේ පාලනය මෙහෙයවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමේදී අමාත්‍ය මණ්ඩලයටත්, අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවන්ටත්, අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳව නිරවුල්ව හා අදාළ සියලු කරුණු පිළිබඳ නිසි අවබෝධයෙන් තීරණ ගැනීමට පහසු වන පරිදි, එම සංදේශ පිළිබඳව නෛතික හා ප්‍රතිපත්තිමය පසුබිම ගැඹුරින් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයටත්, අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවන්ටත් කරුණු ඉදිරිපත් කිරීම.
අමාත්‍ය මණ්ඩල සංදේශ අදාළ අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණ සඳහා යොමු කිරීම.
අමාත්‍ය මණ්ඩල සංදේශ පරීක්ෂා කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම.
අමාත්‍ය මණ්ඩල සංදේශ අදාළ නිරීක්ෂණ සමග සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා වෙත සහ අමාත්‍ය මණ්ඩලය වෙතත් ඉදිරිපත් කිරීම.
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්විම්වලදී සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී එළඹි තීරණ ඇතුළත් වාර්තා භාෂාත්‍රයෙන් සකස් කිරීම හා එකී වාර්තා ගරු අමාත්‍යවරුන් වෙතත්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා අදාළ වෙනත් බලධරයන් වෙතත් යොමු කිරීම.
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා අවශ්‍ය සියලු සේවාවන් සැලසීම.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ අදාළ අමාත්‍යාංශ වෙත දැනුම්දීම.
වැදගත් අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබදව පසු විපරම් කටයුතු කිරීම.
අතිගරු ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන වෙනත් කවර හෝ කාර්යයන් ඉටු කිරීම.